top of page

දන් දීමෙන් මහ බෝසතුන් බලාපොරොත්තු වන කරුණු

  • iudarath
  • Oct 12, 2019
  • 2 min read

Updated: Dec 18, 2019

ආමිස දානය දෙන්නා වූ මහ බෝසත්හු මේ දානයෙන් සත්ත්වයනට ආයුෂ - වර්ණ - සුඛ - බල - ප්‍රතිභාණාදිය හා අර්හත්වය ද නිපදවන්නෙමි යි ආහාර දෙති. සත්ත්වයන්ගේ තෘෂ්ණා පිපාසාව සන්සිඳවන්නෙමි� යි පානයන් දෙති. ශරීරයේ රන්වන් පැහැය හා හිරි ඔතප් නමැති ආභරණයන් ද ලබමි යි වස්ත්‍ර දෙති. ඍද්ධි බලය හා නිර්වාණ සුඛය ලබනු පිණිස රථ වාහන දෙති. ශීල සුගන්ධය ලබනු පිණිස සුවඳ දෙති. බුද්ධ ගුණ ශෝභාව ලබනු පිණිස මල් හා සුවඳ දෙති. බෝධි මණ්ඩලය ලබනු පිණිස ආසන දෙති. තථාගත සෙය්‍යාව ඇතිවනු පිණිස යහන් දෙති. සත්ත්වයන්ට පිහිට විය හැකි වනු පිණිස ආවාස දෙති. පසැස් ලබනු පිණිස පහන් දෙති. ව්‍යාමප්‍රභාව පිණිස රූප දෙති. බ්‍ර‍හ්ම ස්වරය පිණිස ශබ්දය දෙති. සකල ලෝකයාට ප්‍රිය වනු පිණිස රසය දෙති. බුද්ධ සුඛුමාල භාවය පිණිස ස්ප්‍රෂ්ට දානය කෙරති. අජරාමර භාවය පිණිස බෙහෙත් දෙති. ක්ලේශ දාසත්වයෙන් මිදෙනු පිණිස දාසයනට නිදහස දෙති. සද්ධර්මාභිරතිය පිණිස නිරවද්‍ය ක්‍රීඩා රතියට හේතු වන වස්තූන් දෙති. සකල සත්ත්වයන් ම දරු බවට පමුණුවා ගනු පිණිස දරුවන් දෙති. සකල ලෝකයේ ම ස්වාමිත්වය පිණිස භාර්‍ය්‍යාවන් දෙති. මහාපුරුෂ ලක්ෂණ සම්පත්තිය පිණිස රන් රිදී මුතු මැණික් ආදිය දෙති. අනුව්‍යඤ්ජන සම්පත්තිය පිණිස නා නා විධ ආභරණයන් දෙති.�

දහම් ගබඩාව ලබනු පිණිස වස්තු ගබඩා දෙති. ධර්මරාජ්‍ය ප්‍රතිලාභය පිණිස රාජ්‍යයන් දෙති. චක්‍ර ලක්ෂණයෙන් හෙබි පාදයන්ගෙන් මහබෝමැඩට ගමන් කළ හැකි වනු පිණිස පාදයන් දෙති. චතුරෝඝයෙන් එතර විය හැකි වනු පිණිස හා සත්ත්වයනට දහම් නැමති අත දිය හැකි වනු පිණිස අත් දෙති. ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ලබනු පිණිස කන්නාසාදිය දෙති. සමන්ත චක්ඛු නම් වූ සියල්ල දන්නා නුවණැස ලබණු පිණිස ඇස් දන් දෙති. දක්නා වූ ද, අසන්නා වූ ද, සිහි කරන්නා වූ ද, උවැටන් කරන්නා වූ ද, ජනයාට හිත සුව එළවන බුද්ධ ශරීරය ලබනු පිණිස ලේ මස් දෙති. සකල ලෝකයාට ම උතුම් වනු පිණිස උත්තමාංග නම් වූ හිස් දෙති.

එසේ දෙන්නා වූ බෝසත්හු අනේසන වශයෙන් නො දෙති. පරූපඝාතය පිණිස නො දෙති, භය නිසා නො දෙති, ලජ්ජාව නිසා නො දෙති, ප්‍රතිග්‍රාහකයන්ට කිපී නො දෙති. ප්‍රණීතය ඇති කල්හි එය සඟවා අප්‍රණීතය නො දෙති. තමන්ගේ උසස් බව පෙන්වීමට නො දෙති. අනුන් පහත් කිරීමට නොදෙති. ඵලය බලාගෙන නො දෙති. යාචකයන් පිළිකුල් කොට නො දෙති. අනාදරයෙන් නො දෙති. මනාකොට ම දෙති. සියතින් දෙති. සුදුසු කාලයෙහි ම දෙති. ගරු කොට දෙති. විභාගයක් නැති ව දෙති. තුන් කල්හි ම සොම්නසින් ම දෙති. දී නො පසුතැවෙති. ප්‍රතිග්‍රාහකයන් වශයෙන් මානාවමානය නො කොට දෙති. ප්‍රතිග්‍රාහකයන්ට ප්‍රිය කථාවෙන් ම දෙති. ආහාරය දෙන කල්හි වස්ත්‍රාදිය පිරිවර කොට දෙති. වස්ත්‍ර දෙන කල්හි ආහාරාදිය පිරිවර කොට දෙති. යානාදිය දෙන කල්හි ද එසේ ම පරිවාර වස්තූන් සමඟ දෙති. රූපදානය දෙන කල්හි ඉතිරි ආරම්මණයන් ද පිරිවර කොට දෙති. ශබ්ධ දානාදිය එසේම පිරිවර සහිත කොට දෙති.

මේ මහා බෝධිසත්ත්වයන් විසින් දානපාරමිතාව පුරන ආකාරය ය. එතරම් උසස් දාන පාරමිතාවක් නො පිරුයේද ප්‍රත්‍යේක බෝධියට හා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි ය. එබැවින් ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයෝ මධ්‍යම ප්‍රමාණයේ දාන පාරමිතා පාරමිතාවක් පුරති. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයන් විසින් දාන පාරමිතාව පිරිය යුතු ආකාරය ද මහාබෝධි සත්ත්වයන්ගේ ප්‍රතිපත්තිය අනුව සලකා ගත යුතු ය.

 
 
 

Recent Posts

See All
අභිඤ්ඤාලාභී භික්ෂුණීන් අතර අග්‍ර වූ යශෝධරා මහ රහත් තෙරණිය-බුදුසරණ ඇසුරිනි

සුද්ධෝදන රජු බුදුරදුන් ළඟට ගොස් යශෝධරා කී දෙය දැන්වී ය. රජතුමනි යශෝධරාව බලන්න අපි යමු. සැරියුත් මුගලන් දෙනම ද බුදුරදුන් සමඟ වැඩියහ....

 
 
 

Comments


0719003300

  • Facebook
  • Twitter
  • LinkedIn

©2019 by udarath. Proudly created with Wix.com

bottom of page