අටපිරිකර පූජා කිරීමේ ආනිසංස
- iudarath
- Aug 10, 2024
- 2 min read

amen god bless amen
සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ යශෝධරා දේවිය, රහල් කුමරු, පිය මහරජතුමන් ඇතුළු රාජකීය සම්පත් සියල්ලම අතහැර පැවිදි වූයේ ලොවුතුරා සම්මා සම්බුද්ධත්වය ලබා ගෙන අසරණ සත්වයින් සසරින් එතෙර කරවීම උදෙසාමය.
ඒ මහ බෝධිසත්වයන් වහන්සේ කෙස් වැටිය කපා රාජකීය වස්ත්‍රාභරණ මුදාහරින විටදී, අතීත මිතුරා වූ ඝටීකාර අනාගාමී බ්‍රහ්මයා, තවුස් වෙසින් පැවිදි වන්නට, බෝසතුන්ට අට පිරිකර දුන්නේය. ඒ අටපිරිකර මුලින්ම පූජා කළ අවශ්ථාවයි. අතීත බුද්ධ ශාසන වලද භික්ෂූන් වහන්සේගේ පැවිදි පරිෂ්කාර වූයේ අට පිරිකරයි. මේ පිළිබඳව බොහො විස්තර සඳහන් කළ යුතු වූවත්, මෙම ලිපියෙන් අටපිරිකර පූජාවේ ආනිසංස ගැන නාමිකව පමණක් සඳහන් කරනු ලැබේ.
අටපිරිකරක තිබිය යුතු අංග අට වන්නේ.
1. තනිපට සිවුර
2. දෙපට සිවුර
3. අඳනකඩය
4. පාත්තරය
5. බඳ පටිය
6. පෙරහන්කඩය
7. දැළි පිහිය
8. ඉදිකටුව සහ නූල් පන්දුව
අට පිරිකර පූජා කිරීමේ ආනිසංස වෙන වෙනම පහත සඳහන් වේ.
තනිපට සිවුර, දෙපට සිවුර, අඳනකඩ පිදීමේ ආනිසංස අටක් (08) තිබේ.
1. රන්වන් සිරුරක් ලැබීම.
2. ශරීරයේ දූවිලි නො රැදීම.
3. ප්‍රභාශ්වර (රැස් විහිදෙන) ශරීරයක් ලැබීම.
4. විශාල ප්‍රතාපවත් බවක් ඇති වේ.
5. ශරීරය ඉතා සිනිඳු වේ.
6. සසරදී හිසට සුදු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
7. සසර සෑම භවයකදීම කහ වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
8. සසර සෑම භවයකදීම රතු වස්ත්‍ර ලක්ෂ ගණනින් දරයි.
පාත්තර පූජා කිරීමේ ආනිසංස දහය (10) කි.
1. රන්, මැණික්, රිදී තලි පරිභෝගයට ලැබේ.
2. කිසිදා උපද්‍රව සිදු නොවේ.
3. කිසිදා හදිසි අනතුරු නොවේ.
4. හැම කාළයේදීම ගරු බුහුමන් පුද සත්කාර ලැබේ.
5. ආහාර පාන, වස්ත්‍ර, සයනාසන නිරන්තරයෙන්ම ලැබෙයි.
6. තමන්ගේ ආහාර භෝග ආදිය විනාශ නොවේ.
7. ස්‍ථීර වූ සිත් ඇතිව වාශය කරයි.
8. හැම විටම ධර්මයම කැමති වෙයි.
9. කෙලෙස් තුනී වී යයි.
10. ආශ්‍රව නොමැතිව ජීවත් වෙයි.
බඳ පටි පූජා කිරීමේ ආනිසංස හය (06) කි.
1. සමාධි භාවය අකම්පිත වේ.
2. සමාධීන් හි වශීභාවයට පැමිණේ.
3. නොබිඳෙන පිරිස් ඇති වේ.
4. හැම විටම තමන්ගේ වචනය අනුන් පිළිගනී.
5. එළඹ සිටි සිහි ඇත්තෙක් වේ.
6. කිසිදු භවයකදී තැති ගැනීමක් ඇති නොවේ.
පෙරහන්කඩ පූජා කිරීමේ ආනිසංස පහ (05) කි.
1. සෑම දෙනාම ඉක්මවා දිව්‍යායුෂ විඳියි.
2. තමන්ගේ වස්තුව වෙනෙකෙකුට සොරකම් කළ නොහැකිය.
3. තමන්ට සතුරන්ගෙන් කිසිදා විපත් ඇති වන්නේ නැත.
4. ආයුධ, විෂ ආදියෙන් අනතුරු නොවේ.
5. අතුරු මරණ නොමැත. පරමායුෂ විඳියි.
දැළි පිහි පූජා කිරීමේ ආනිසංස සත (07) කි.
1. හැම විටම සූරයෙක් වේ.
2. නොවිසිරුණු සිත් ඇත්තෙක් වේ.
3. විශාරද්‍යත්වයෙන් යුක්ත වේ.
4. ධෛර්යය ඇත්තෙක් වේ.
5. වීර්යය ඇත්තෙක් වේ.
6. සිත කුසලයටම නැඹූරුව පවතී.
7. කෙලෙස් සිඳින විදර්ශනා ඤාණය ලබයි.
ඉදිකටු නූල් පූජා කිරීමේ ආනිසංස සත (07) කි.
1. සැක සංඛා නැතිව ජීවත් වෙයි
2. සැක සංඛා නැතිව භවයේ සැරි සරයි.
3. රූමත් වේ.
4. භවභෝග සම්පත් විඳියි.
5. තියුණු නුවණින් යුතුව භවයේ සැරි සරයි.
6. ගැඹුරු, සියුම් ස්ථාන සහිත අර්ථයන් දකියි.
7. මොහඳුර දුරු කරන විදර්ශනා ඥාණ ශක්‍ත්‍ය ලබයි.
පින්වත් ඔබගේ හේතු සම්පත් මුහුකුරා ගොස් ඉක්මන් භවයකම රහත්ව පිරිණිවන් පානා තෙක්ම අවශ්‍ය කරන හේතු සම්පත් ලැබිය යුතුය. ඒ සඳහා ඔබ විසින් කරගන්නා අට පිරිකර පූජාවන් අතිශයින් ප්‍රයෝජනවත් වේ.
සියල්ලෝම පිංකම් සිදුකර ගත යුතුය. සසරින් එතෙරව චතුරාර්ය සත්‍යාවබෝධ ඤාණයෙන් කෙලෙසුන් නසන්නට අධිෂ්ඨාන කරගන්න.
තෙරුවන් සරණයි!
පූජනීය, තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ
රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක
ත්‍රිපිටක වාගීශ්වර, සද්ධර්ම ශිරෝමණී, විපස්සනා කමමට්ඨානාචරිය, පණ්ඩිත,
මිණිපුර අමා ශාන්ති තපෝවනය
පැල්වාඩිය - රත්නපුර
මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයෙන් සිදුකෙරෙන භාවනා වැඩසටහන් සහ අභිධර්ම පන්ති, සූත්‍ර ධර්ම දෙශනා ආදී වැඩසටහන් වලට සහභාගි වීමට පහත සඳහන් ගෲප් වලට සම්බන්ධ වෙන්න.


Comments