දියුණුවේ රන් දොරටුව
- iudarath
- Dec 23, 2019
- 2 min read
Updated: Oct 27, 2021


මේ දේශණාවෙ ප්‍රධාන වශයෙන් කොටස් 2ක් සඳහන් වෙනව.ඒ තමයි මෙලොව ලෞකික දියුණුව සහ පරලොව දියුණුව. මෙලොව ගැන සඳහන් කිරීමේදී දියුණුවට උදව් වන කලයුතු කරුණු 4ක් සහ නොකලයුතු කරුණු 4ක් සඳහන් වෙනව. මෙලොව දියුණුව කලයුතු එහෙමත් නැතන්ම් පුහුණු විය යුතු දේවල්. 1. උට්ඨානසම්පදා - උත්සාහ සම්පත්තිය තමන් කරන රැකියාව හෝ කර්මාන්තය හෝ සියළුම දේවල් පිලිබඳව උත්සාහය තියෙන්න ඕන.කොහොමද උත්සාහවත් වෙන්නෙ?.ඒකත් කරුණු 4කින් විස්තර වෙනව
දක්ඛො හොති - කරන කර්මාන්තයෙහි හෝ රැකියාවෙහි දක්ෂ වෙන්න ඕන.තමන් කරන දේ පිළිබඳව හොඳම දක්ෂයෙක් වෙන්න ඕන.ඒ පිළිබඳව ඉගෙනගන,පුහුණු වෙලා හොඳ දක්ෂතාවයක් ඇතිකර ගන්න ඕන.
අනලසො - අලස නොවෙන්න ඕන කොයි මොහොතකවත්,මොනම හේතුවකටවත්.නිතරම ජව සම්පන්නව,ක්‍රියාශීලී ප්‍රබෝධමත් මනසකින් යුතුව,කායික ක්‍රියාශීලීත්වයකින් ඉන්න ඕන හැම මොහොතකම.
තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො - උපායශීලී විමර්ශණ නුවණ තියෙන්න ඕන. ඒ කියන්නෙ නිර්මාණශීලී බවත් එක්ක එකතු වුනු අවස්ථානුකූලව විමසීමේ නුවණ සහ හැකියාව තියෙන්න ඕන.වැඩ කටයුතු කිරීමේදී ගැටළු සඳහා හොඳ විසඳුම් සොයන්න ඕන.නිර්මාණශීලීත්වය තුලින් දැකලා අලුත් දේවල් පිළිබඳ අත්හදා බලන්න ඕන.
අලං කාතුං අලං සංවිධාතුං - යමක් කරන්නෙද එය සංවිධානාත්මකව කරන්න ඕන.ඒ කියන්නෙ මනා කළමණාකාරීත්වයක් තියෙන්න ඕන.
2.ආරක්ඛසම්පදා - ආරක්ෂක සම්පත්තිය
උත්සහයෙන් හරිහම්බ කරගත් දේ ආරක්ෂා කරන්න ඕන.සොර සතුරන්ගෙන්,ස්වාභාවික විපත් වලින් ආරක්ෂා කරගන්න ඕන.ඒ වගේම නාස්ති නොකර,විනාශ නොකර සැලකිලිමත්ව රැකගන්ඩ ඕන.තමන් හරිහම්බ කරගත් දෙය විනාශයට යා හැකි දේවල් වලින් වැළකෙන්න ඕන.
3.කල්‍යාණමිත්තතා - කල්‍යාණ මිත්‍රතාවය කල්‍යාණ මිත්‍රයන් සහිත වෙන්න ඕන.ඔවුන් සමග ආශ්‍රය කරන්න ඕන.කථාබහ කරන්න ඕන.සාකච්ඡාවන්ට යොමුවෙන්න ඕන.කල්‍යාණ මිත්‍රයා කියන්නෙ සසර භය ඇතිකරල දෙන කෙනානෙ.එයාගෙ ලක්ෂණ 4ක් තියනව.ඒ තමයි, සද්ධා සම්පන්නා - ශ්‍රද්ධාවෙන් යුක්තයි.
සීල සම්පන්නා - මනා ශිලයෙන් යුක්තයි.
චාග සම්පන්නා - දානය දීමෙහි යෙදුනෙක් විය යුතුයි.
පඤ්ඤා සම්පන්නා - සද්ධර්මය පිලිබඳ මනා අවබෝධයෙන් ප්‍රඥා සම්පත්තියෙන් කටයුතු කරන්නෙක් වෙන්න ඕන.
4.සමජීවිතා - සමබර ජීවිතය.
තමන්ගෙ ආදායම දැනගෙන වියදම් කරන්න ඕන.ඉතාම අඩුවෙන් වියදම් කරන්නෙත් නැතුව,ඉතාම අධිකව වියදම් කරන්නෙත් නැතුව,අවශ්‍ය වියදම් හඳුනාගෙන,ඒවා අවශ්‍යතාවයන් අනුව පෙළගස්වලා,මනාව කල්පනාවෙන් යුක්තව වියදම් කරන්න ඕන.
ඊලඟට කරුණු 4ක් තියනවා අනිවාර්යයෙන්ම වැලකිය යුතු. ඉත්ථිධුත්තො - ස්ත්‍රීන් ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
සුරාධුත්තො - සුරාවට ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
අක්ඛධුත්තො - සූදුවට ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
පාපමිත්තො,පාපසහායො පාපසම්පවඞ්කො - පවට සහය දෙන,පවටම නැමී ඇති, පවට ලැජ්ජාව,භය නැති මිත්‍රපවට ලැජ්ජාව,භය නැති ආශ්‍රයට ලොල් නොවෙන්න ඕන.ආශා නොකරන්න ඕන.
මොකද මේ 4 තමයි භව භෝග විනාශ මුඛයට යන කරුණු 4.භෝග විනාශයට විතරක් නෙවෙයි,පරලොව විනාශයටත් හේතු වන කරුණු. පරලොව සුගතිය පිණිස හේතු වන කරුණු 4කි. සද්ධා සම්පදා - ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ කියන්නෙ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැන මනා අවබෝධයකින් යුක්තව ගුණ හඳුනාගෙනම පැහැදිල ඉන්නෙ.ශ්‍රී සද්ධර්මය ගැනත් මනා අවබෝධයකින් යුක්තව ගුණ හඳුනාගෙනම පැහැදිල ඉන්නෙ.ආර්ය මහා සංඝරත්නය ගැනත් මනා අවබෝධයකින් යුක්තව ගුණ හඳුනාගෙනම පැහැදිල ඉන්නෙ.
සීල සම්පදා- මනා ශිලයෙන් යුක්තයි.ඉතාම කුඩා වරදෙහිත් භය දකිමින්,ඉතාම උවමනාවෙන් ශීලය පුරුදු කරන කෙනෙක් වෙන්න ඕන.
චාග සම්පදා - දානය දීමෙහි යෙදුනෙක් විය යුතුයි.දානයට කැමති,දන් දීමෙහි ඇළුණු,දන් දීමෙහි අනුහස් දන්නා කෙනෙක් විය යුතුයි.
පඤ්ඤා සම්පදා - සද්ධර්මය පිලිබඳ මනා අවබෝධයෙන් ප්‍රඥා සම්පත්තියෙන් කටයුතු කරන්නෙක් වෙන්න ඕන.ඒ කියන්නෙ තමනුත් තමන්ගෙ කල්‍යාණ මිත්‍රයා වගේම, ඒ ගුණධර්ම පුරුදු පුහුණු වෙන්න ඕනෙ.ඉතින් මේ විදිහට ජීවිතය පුරුදු කරගෙන, දියුණු ජීවිතයක් ගතකරන අතරම තමන්ගෙ දරු පරම්පරාවටත් පුරුදු පුහුණු කිරීම තමයි ලෞකික ජීවිතයක කල හැකි වැදගත්ම දේ.




Comments