දස අකුසල් හා ඒවායේ විපාක
- iudarath
- Apr 22, 2020
- 5 min read
01. ප්‍රාණඝාතය
ප්‍රාණඝාතය නම් සතුන් මැරීමයි. සතකු මරමි යි සිතේ ඇති වන චේතනාව ප්‍රාණඝාත අකුශල කර්ම නමි.
සතකු වීම ය,
සතකු බව දැනීම ය,
මරමි යි යන සිත ය,
එයට උපක්‍රම කිරීම ය,
දිවි නැසීම ය.
යන අංග පස ම නො අඩු ව ඇති වූකල අකුසලය සම්පූර්ණ වේ.
මෙහි විපාක වශයෙන් (විපාකයට ඉඩ ලැබුණු විට) මෙහි දී ම වධ බන්ධන විඳීම, ලෙඩ රෝග ඇති වීම, ආයුෂ මද වීම් ආදි හිරිහැර ඇති වේ. මරණින් මතු අපායෙහි ඉපිද බොහෝ කල් දුක් විඳින්නට වේ. නැවත එයින්මිදී මිනිසත් බවක් ලද කල්හි ද ඇස් ආදිය විකල වීම, ආයුෂ මද වීම, රෝග බහුල වීම, ලොවට අප්‍රිය වීම, අශෝභන කය ඇති වීම ආදි විපත් ඇති වේ.
02. අදත්තාදානය
අන් සතු දෑ අයුතු සේ ගැන්ම අදත්තාදානය නමි.
අදත්ත (අදින්න) යනු නො දුන්න දැයි.
ආදාන යනු ගැන්ම යි.
මෙසේ අදත්තාදාන (අදින්නාදාන) යනු අයිති කරු විසින් නො දුන් දෑ සොරකමින් හෝ බලහත්කාරයෙන් හෝ රැවැටිල්ලෙන් හෝ වෙන යම් මොන ම අයුතු අන්දමෙකින් ගැන් ම යි.
මෙහි අකුසලය සම්පූර්ණ වීමට අංග පසෙකි. එනම්, අන් සතු දැයක් වීම, අන් සතු බව දැන්ම, අයිතිකාරයාට නො දන්වා හෝ බලයෙන් හෝ රවටා හෝ ගනිමි යි යන සොර සිත, එයට උපක්‍රම කිරීම, එසේ ම එය ගැන්ම යනු ඒ අංග පස යි.
මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත්, මේ අත්බව්හි දීත් මතු උපන් කලත් ධන හානිය, දිළිඳු බව, සොර සතුරු උවදුරු, සිතූ දෑ ඉටු නො වීම ආදී නපුරු විපාක ලැබේ. මරණින් මතු අපායවල ද ඉපි ද බොහෝ කල් දුක් විඳින්නට සිදු වේ.
03. I කාමමිථ්‍යාචාරය
කාමයෙහි වැරදි වූ හැසිරීම කාමමිථ්‍යාචාරය නමි. පිරිමියෙකු අනුන්ගේ බාරයේ සිටින ස්ත්‍රීන් සේවනය කිරීම ද, ස්ත්‍රියක සිය සැමියා හැර අන් පුරුෂයන් සේවනය කිරීම ද මෙයින් දැක්වේ.
අන්සතු ස්ත්‍රියක වීම,
ඇය හා සේවනයට අදහස,
එයට උපක්‍රමය,
සේවනය කිරීම
යන අංග සතර ඇති වීමෙන් පිරිමියට කාමමිථ්‍යාචාරය අකුසලය පිරේ.
සිය සැමියාගෙන් අන්‍ය පුරුෂයකු වීම,
ඔහු සේවනයට කැමැත්ත,
එයට උපක්‍රමය,
සේවනය
යන සතර අංග සම්පූර්ණ වූ විට ස්ත්‍රියට කාමමිථ්‍යාචාරය සම්පූර්ණ වේ.
මේ අකුසලයෙහි විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස විඳීම, බියකරු ලෙඩ රෝග වැළැඳීම, හදිසි විපත්වලට අසු වීම, ආංඩුවෙන් ද¼ඬුවම් ලැබීම ආදී කරදර ද, මරණින් පසු අපායෙහි ඉපිද බොහෝ දුක් විඳීම ද වේ. අපායෙන් මිදී මිනිසත් බවක් ලදොත් ස්ත්‍රී වීම, නපුංසක වීම, සතුරන් බහුල වීම, ප්‍රිය භාර්යාවක නො ලැබීම ස්ත්‍රියක් නම් ප්‍රිය සැමියකු නො ලැබීම යන විපාක ඇති වේ.
03. (III)රහමෙර බීම
රහමෙර බීම රස කාමයෙහි වරදවා හැසිරීම යි. එ බැවින් එය ද කාමමිථ්‍යාචාර යන්නෙහි ම ඇතුළත් වෙයි.
රහමෙර වීම ය, රහමෙර බව දැනීම ය, බොනු කැමැත්ත ය, එය පීම ය යන සතර අංග ඇති වූ කල අකුසලය සම්පූර්ණ වේ.
මෙහි විපාක වශයෙන් ඉන්ද්‍රිය දුර්වල වීම, උමතු වීම, ලෙඩ බහුල වීම, ආයුෂ මද වීම, දුබල දරුවන් ලැබීම, ධන හානිය, නින්දා අපහාස ලැබීම, නෑයනට පවා අප්‍රිය වීම ආදි නොයෙක් විපත් මෙහිදීත් වේ.
මරණින් මතු චේතරණී ආදි නිරයවල ඉපිද නො පමණ දුක් විඳීම ද, ඉන් මිදී මිනිසත් බව ලද කල්හි ලජ්ජා නැති බව, උමතු බව විරූප බව ආදිය ද වේ.
04. මුසාවාදා
මුසා යනු නො සිදු වූ දැය යි. වාද යනු කීම යි. නො වූවක්, වූයේ යැ යි. නැති දැයක් ඇතැයි අන්හට පිළිගන්වන අදහසින් වචනයෙන් හෝ හිස සෙලැවීම් ආදි නියායෙකින් හෝ ඇඟැවීම මුසාවාදා නමි.
නො සිදු වූවක් බව ය,
රවටමි යන අදහස ය,
එය ඇඟැවීමට උපක්‍රම ය,
අසන්නහු එය පිළිගැන්මය
යන අංග සතර ඇති වූ විට මුසාවාද අකුසලය සම්පූර්ණ වේ.
බොරු කීමේ විපාක වශයෙන් මෙ ලොව දී ම නින්දා අපහාස ලැබීම, ලොවට අප්‍රිය වීම් යන ආදිය වේ. මරණින් මතු අපායේ උපදී. ඉන් මිදී මිනිසකු වූ කල්හි මුව දුගඳ වේ ලෙඩ බහුල මුඛය ඇත්තෙක් වේ. දරුවන් නැත්තෙක් වේ. ලබතත් ගැහැණු දරුවන් ම ලබයි.
05. පිසුනා වාචා
උනුන් ප්‍රිය බව (සමගිය) නැති කරන බස පිසුනාවාචා නමි. කේලාම් කීම යි. බිඳෙන පුද්ගලයෙකු ඇති බව, ඔහු අනෙකා ගෙන් බිඳුවන අදහස, තමා ඔහුට ප්‍රියවන සිත, තමා කියන කේලාම් ඔහු පිළිගැන්ම යන අංග සතර ඇති වීමෙන් අකුසලය සම්පූර්ණ වේ.
මෙහි විපාක වශයෙන් ඉඩක් ලදොත් මෙහි දී ම හිත මිතුරන් නැති වීම් ආදිය ද, මරණින් පසු අපාය දුක ද, නැවත මිනිසකු වූ කල මිත්‍රයන් අඩු වීම ද, ඇති වූ මිතුරන් කරුණක් නැතිව ම බිඳී යෑම ද වේ.
06. පරුෂ වචනය
පරුෂ නම් කර්කශ රළු දැයි. පරුෂ වචන යනු කර්කශ රළු බස යි. අනුන් ගේ සිත් රිදුවන ඇනුම් බැනුම් ගැරැහුම් මෙයින් දැක්වේ.
ගැරැහුම් ලබන්නකු ඇති බව, රළු සිතැති බව,, බැණීම යන අංග තුන ඇති කලැ අකුසලය සම්පූර්ණ වේ.
්‍යවහාරයේ මිහිරි වූ වචනයක් වුව ද කිපුනු සිතින් ඇනුම් බැණුම් වශයෙන් කියා නම් ඒ ද පරුෂ වචන යැ යි ද ත යුතු. පෙර ඇතැම් රජහු සොරුන් මරවනු කැමැති ව ‘මොවුන් සුව සේ නිදිකරවු’ යි කියති. වධකයෝ ඔවුන් මරති. මෙහි එ රජුන් කියන වචන කණට රළු නො වුවත් ‘මොවුන් මරවු’ යන අදහස ම උඩ කියන බැවින් පරුෂ වචන ම ය. පෙර බුරුම රජුන් මරණ තීන්දුව ලීවේ ‘කම්මං සත්තේ විභජති (කර්මය සත්ත්වයන් බෙදයි)’ යන බුද්ධවචනය ලිවීමෙනි. එහෙත් එයින් මැරීම අදහස් කළ බැවින් එය ඒ අවස්ථාවෙහි පරුෂ වචනයෙක් ම ය.
ඇතැම් විට මව දරුවාට ආදරයෙන් දැඩි වචන කියයි. සිතෙහි බිඳකුත් කෝපයක් නැති ව බලවත් සෙනෙහයෙන් කියන බැවින් ඒ පරුෂ වචන සංඛ්‍යාවට නො යෙයි.
ඉහත කී පරිදි පරුෂ වචනයෙන් මෙහි දී ම ජනයාට අප්‍රිය වීම ද, කුෂ්ට කිලාසාදි ලෙඩ ඇති වීම ද, මරණින් පසු අපායෙහි ඉපැදීම ද නැවැත මිනිසත් බව ලත් කලක් වුවොත් අප්‍රිය දැකුම් ඇති, විකාර මුඛ ඇති, විවර්ණ කය හා රළු කටහඬ ඇති, ජනයාට ප්‍රිය නො වන දීනයකු වීම ද යන විපාක ඇති වේ.
07. සම්ඵප්‍රලාප
දියුණුව නැති කරන හිස් බස් සම්ඵප්‍රලාප නමි. වැඩකට නැති කථා බව ය, ඒවා කීම ය (අසන්නවුන් ඒ පිළිගැනීමය) යන අංග ඇති කල අකුසලය සම්පූර්ණ වේ.
සම්ඵප්‍රලාප
දොඩන මිනිසා මෙ ලොව දී ම ලෝ වැස්සාට පිළිකුල් වේ. මෙය බලවත් ව දෙඩුයේ මරණින් පසු අපායේ උපදී. නැවැත මිනිස් ව උපන්නේ ද අනුන් විසින් නො පිළිගන්නා වචන ඇතියෙක් වේ.
08. අභිධ්‍යාව
අනුන් අයත් දැය ගැන ‘මෙය මට ඇත් නම් මැනැවැ’යි ඇති කැරැගන්නා දැඩි ලෝභය අභිධ්‍යා නම් වේ.
අනුන් සතු දැයක් වීම,, එය තමාට අත් කැරැ ගැන්මේ සිත, යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
දැඩි ලෝභයෙන් මඩනා ලද්දේ මෙහි දී දුර්වර්ණ බව ආදියට පැමිණේ. මරණින් පසු ලෝභයේ දැඩි කම වූ පරිදි ප්‍රේතාදි වූ අපාය දුකට ගොදුරු වේ. නැවැත මිනිසත් බව ලද කල්හි දුගී බව ද, සම්පත් සිත්සේ භුක්ති විඳිය නො හැකි බව ද ආදි දුර්විපාක විඳී.
09. ව්‍යාපාද
අනුන් ගේ සිත සැපය වනසන, තමාත් විරූප බවට පමුණුවන සේ දැඩි වූ දෙවෂය ව්‍යාපාද නමි.
අන් සතකු වීම, ඔහු පෙළෙතොත් නැසෙතොත් මැනැවැයි සිතීම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ. අන් හට විපත් කැමැති වන්නෝ මෙහි දී ලොවට අප්‍රිය වීම් ආදි කටුක විපත් ද මරණින් පසු අපායයෙහි ඉපැත්ම ද මිනිස් ව උපන් කල විරූප බව ආදී අනිෂ්ට විපාක ද ලබත්.
10.මිථ්‍යාදෘෂ්ටිය
ඇති සැටිය තබා වරදවා දැකීම මිථ්‍යාදෘෂ්ටිය නම්.
වරදවා දැක්ම, එසේ ම වටහා ගෙන දැඩි කොට සිතින් ගැන්ම යන අංග දෙකින් අකුසලය සම්පූර්ණ වේ.
මිථ්‍යාදෘෂ්ටිය වනාහි අහේතුක දෘෂ්ටි, අක්‍රිය දෘෂ්ටි, නාස්තික දෘෂ්ටි යැ යි තුන් වැදෑරුම්.
“සත්ත්වයා කෙලෙසීමටත් පිරිසිදු වීමටත් හේතුවක් නැතැයි. එය ඉබේ ම වන දැයෙකැ”යි වරදවා දැක්ම අහේතුක දෘෂ්ටි යි.
කුශලාකුශල කර්මවල කිසි ම විපාකයෙක් නැතැ යි වරදවා ගැන්ම අක්‍රිය දෘෂ්ටි නම්.
දානාදියේ ඵල විපාක නැතැයි, මව යැ පියා යැ යි විශේෂ යෙන් සැලැකියැ යුතු කෙනෙක් නැතැ යි මෙලොව පරලොව කියා දැයෙක් නැතැ යි යන ආදීන් වැරැදි ලෙස දැක්ම නාස්තික දෘෂ්ටිය යි.
මේ මිත්‍යාදෘෂ්ටි ගත් අයට එහි ඵල වශයෙන් මෙහිදීත් සිහි මුළාවීම් ආදිය ද, මරනින් පසු අපායේ ඉපැත්ම ද, මිනිස් ව උපන් කල නුවණ මඳ බව, සුව කළ නො හැකි කල් පවත්නා ලෙඩ ඇති බව ආදි හිරිහැර ද වේ.


Comments